ලෝකයේ රටවල් ගණනාවක් තුළ රූකඩ කලාව පැතිරී ඇත. එහෙත් ශ්‍රී ලංකාවේ රූකඩ කලාවට ලාංකීය අනන්‍යතාවයක් ඇත. මේ සදහා මූලික පදනම වැටී ඇත්තේ ලාංකීය ජන සමාජය තුළ පැවති ආගමික, සමාජීය හා සංස්කෘතික වශයෙන් ගොඩනැගුණු සහ සම්බන්ධයයි.
මෙහිදී ලංකාවට ආවේණීය ලක්ෂණ බිහිවීම සඳහා මූලික ලෙස බලපානු ලැබුවේ ලංකාවේ දකුණු පළාත ආශ්‍රිතව ගොඩනැගුණු සාම්ප්‍රදායික බලි තොවිල් ශාන්තිකර්ම, කෝලම්, නාඩගම් හා ග්‍රාමීය චරිත කතා ලෙස දැක්විය හැක.
ශ්‍රී ලංකාවේ රූකඩ කලාව සඳහා මූලික ආභාශය ලැබී ඇත්තේ දකුණු ඉන්දියාවේ රාජස්ථාන් ප්‍රාන්තයෙන් වන බවට සාධක පවතින අතර, බලි තොවිල් ශාන්තිකර්ම, කෝලම්, නාඩගම් හා ග්‍රාමීය චරිත නාට්‍යය සඳහා යොදාගත්, වෙස් මුහුණු සහ ඇඳුම් පැළඳුම් අන්දවා සකස් කරන ලද රූපකායන් නූල් සම්බන්ධ කරමින් සාම්ප්‍රදායික නැටුම් හා බෙර වාදනයන්ට අනුව නර්තනයේ යෙදවීමට අපූරු සමත්කමත් දැක්වූ ලාංකීය රූකඩ කලාකරුවා ලංකාවටම අවේණික සම්ප්රදායක් ගොඩනැගීමට ඉඩකඩ විවර කළහ.
මෙහිදී දහ අට සන්නිය සහ බලි තොවිල් ආශ්රිත ශාන්තිකර්ම ද දික්තල කාලගෝල කතාව, විදුර ජාතක කතාව ආදී කතන්දර ද, ගමරාල, ගම මහගේ, ගම දියණිය ආදී ග්‍රාමීය චරිත ද, ජසයා හා ලෙන්චිනා කෝලම් නාට්‍යය ද හැඳින්විය හැකිය. තවද මෙම ඉදිරිපත් කිරීම් තුළ වූ දෙබස්, කවි ගායනය හා කථනය මිනිසාට හාස්‍යය, භය, උපහාසය හා සංවේගය දැනවීමට රූකඩ ශිල්පීන් සමත් වී ඇත. ශ්‍රි ලංකාවේ රූකඩ පිළිබඳ ඇසූ පමණින් කියවෙන්නේ දකුණු පළාතේ අම්බලන්ගොඩ ග්‍රාමීය හා නාගරික පරිසරයයි. ලංකාව පුරාම ගුරු කුල 25 ක පමණ රූකඩ කලාකරුවන් විසිරී ඇති අතර, මින් වැඩි කොටසක් දකුණු පලාතේ අම්බලන්ගොඩ මිරිස්ස සහ මධ්‍යම පලාතේ මහනුවර ආදී ප්‍රදේශ වල බහුල වශයෙන් ජීවත් වනු ලබන අතර, දැනට ශ්‍රි ලංකාව පුරාම එම ගුරු කුල වලට අයත් කලා කරුවන් විසිරී ඇත. මෙම පාරම්පරිකව පැවතගෙන එන රූකඩ නර්ථන සඳහා පදනම් වූ කථාවස්තු ගණනාවක් ඇති අතර, රූකඩ සන්දර්ශනයක් සඳහා රූකඩ වර්ග 20 ක් පමණ භාවිතා කරනු ලැබේ. එක් රූකඩයක උස සෙන්ටිමීටර 140 ක් සහ බර කිලෝග්‍රෑම් 5 -10 ක් පමණ වන අතර, රූකඩ ඉදිරිපත් කිරීම සඳහා ශිල්පීන් 10 ක් පමණ එකවර සහභාගී වනු ලැබේ. ඔවුන් විසින්ම කථනය, ගායනය සහ වාදනයද කරන අතර මේ සදහා ලාංකීය පාරම්පරික තූර්යවාදන භාණ්ඩ භාවිතා කරනු ලබයි.
අනගාරික ධර්මපාල මාවත,
පින්වත්ත, දෙහිවල,
ශ්‍රී ලංකාව
දුරකතනය: +94 112 714 241
විද්‍යුත් තැපෑල: info@puppet.lk